බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස හෙලිවෙයි - Bermuda triangle

http://bigthink.com

බර්මියුඩා ප‍්‍රදේශයේ දී අහස් යානා හා නෞකා අභිරහස් ලෙස අතුරුදන් වීම ගැන ඔබ අසා ඇතිවාට කිසිම සැකයක් නැහැ. එහෙත් බර්මියුඩා ප‍්‍රදේශයෙන් පිටත සාගරයේදී පවා නොසිතූ විලස නෞකා අතුරුදන් වීම සිදුවෙනවා.බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස තවමත් නිසිආකාරව විසඳී නොතිබුණත් ඉන් පිටත සාගරයේ සිදුවන බොහෝ නෞකා අතුරුදන් වීම්වලට හේතුව අනාවරණය කරගන්නට ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් සරසවියේ විද්‍යාඥයන් දෙදෙනකුට හැකි වී තිබෙනවා. ඩේවිඩ් මේ හා ජෝසප් මොනගන් නම් වූ මේ විද්‍යාඥයන් දෙදෙනා පවසන්නේ, මේ මුහුදු යාත‍්‍රා ගිලීයාම පිළිබඳව, මුහුදු පත්ලේ මේතේන් සංචිතව ඇති ප‍්‍රදේශ වගකිව යුතු බවයි.
සාමාන්‍යයෙන් වගුරු හා පතල් වලින් නිකුත් වන මේතේන්, ගන්ධයක් රහිත වන අතර, එය පවතින්නේ වායුවක් ලෙසින්. එහෙත් ගැඹුරු සාගර පත්ලේ ඇති අධික පීඩනය හේතුවෙන් මේතේන් එකට කැටී වී, අයිස් වැනි ඝන මේතේන් තැන්පතු හට ගැනෙනවා.මේවා හඳුන්වන්නේ වායු හයිඩ්‍රේට ලෙසයි. මෙවැනි මේතේන් තැන්පතු එක්වරම පිපිරී විඝටනය වීම නිසා පිටවන වායු බුබුළු, සාගරය මතුපිටට පැමිණෙන විට දැවැන්ත වායු බුබුළු බවට පත් වී නෞකා ගිල්වා දමන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.බි‍්‍රතාන්‍යය හා යුරෝපා මහද්වීපය අතර උතුරු මුහුදේ මෙවැනි, මේතේන් අධිකව සංචිත ප‍්‍රදේශ හා පිපිරී යාම මගින් විශාල වායු බුබුළු නිකුත් විය හැකි ප‍්‍රදේශ රාශියක් ඇති බව දැනට සිදුකරන ලද සෝනාර් පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
මේතේන් අධිකව සංචිත වූ ප‍්‍රදේශයක සිදුවන පිපිරුම හා පිටවන වායු බුබුළුවල ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් කිසිවෙකු දැක නැහැ. එසේ වුවත් එම කි‍්‍රයාවලියේ ආකෘතියක් ආශ‍්‍රයෙන්, මුහුදු යාත‍්‍රාවකට සිදුවිය හැකි හානිය පිළිබඳව සොයන්නටයි මොනගන් හා මේ උත්සාහ දැරුවේ. වීදුරු ජල තටාකවල පතුලේ සිට පැමිණෙන එක් අති විශාල වායු බුබුලක් මඟින් ජලය මත පාවෙන ආකෘති නෞකාවකට කුමක් සිදුවන්නේ ද යන්න වීඩියෝ කැමරාවක් ආධාරයෙන් සොයා බැලූ ඔවුනට වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගැනීමට හැකි වූවා.එනම් නෞකාව ගිලී යාම හෝ නොගිලී පැවතීම තීරණය වන්නේ, වායු බුබුලට සාපේක්‍ෂව නෞකාව පිහිටන ස්ථානය මත බව ඔවුන් දුටුවා. වායු බුබුලෙන් ඈත පිහිටි නෞකාවකට ආරක්‍ෂිතව ගමන් කළ හැකියි. එලෙසම වායු බුබුලට කෙලින්ම ඉහළින් ඇති නෞකාවකට ද ආරක්‍ෂිතව යාත‍්‍රා කළ හැකියි. තරංග ප‍්‍රවාහයක අචල පිහිටීම වන, එහි ඉහළම ලක්‍ෂයේ ඇති යාත‍්‍රාවක් රළ තරංග අතර නිම්නයකට වැටී ගිලී යාමට ඉඩක් නොමැතිවීම ඊට හේතුවයි.එහෙත් භයානකම ස්ථානය වන්නේ, වායු බුබුලේ ඉහළම පිහිටි අචල ලක්‍ෂය හා බුබුල නිසා ඉහළ නැඟි තරංගයේ නැග්ම ආරම්භ වන ස්ථානය අතර ප‍්‍රදේශයයි. එම ප‍්‍රදේශයේ පිහිටි යාත‍්‍රාවක් නිරුපද්‍රිතව පවතින්නේ බොහොම කලාතුරකින්. බොහෝ විට මේ ප‍්‍රදේශය තුළ යාත‍්‍රා කරන නෞකාවල අවසන් නැවතුම සාගර පතුලයි.සාමාන්‍යයෙන්, දැවැන්ත මේතේන් වායු බුබුලක් නිසා ගිලී යන නෞකාවක්, මුහුදු පතුලේ මේතේන් තැන්පතු පිපිරී ගිය ප‍්‍රදේශය තුළ රැඳෙන ස්ථානය “මායාකාරියන්ගේ කුහරය” (Witches Hole) ලෙසයි අද හඳුන්වන්නේ.
නොසිතූ මොහොතකදී, දහස් ගණන් ජීවිත රැගත් යාත‍්‍රාවන් මුහුදු පතුලට ඇදගෙන පත්ලේ සිරකර තබන ස්ථානයට ඒ නම මනාව ගැළපෙන බව විද්‍යාඥයෝ පවසනවා.තවද, යාත‍්‍රාවක් ගිලී යාමේ යාන්ත‍්‍රණය පැහැදිලි කිරීමටද මොනගන් හා මේ සමත් වී තිබෙනවා. මුහුදු යාත‍්‍රාවක් මෙවැනි වායු බුබුළු නිසා ගිලී යාමට ප‍්‍රධානම හේතුව වන්නේ, වායු බුබුළු සහිත මුහුදු ජලයේ ඝනත්වය අඩුවීම හේතුවෙන් යාත‍්‍රාව මත යෙදෙන උඩුකුරු තෙරපුම අඩුවීම බවයි ඔවුන් පවසන්නේ.මීට අමතරව ප‍්‍රදේශය තුළ මේතේන් සංචිතවල සුලබතාව, නෞකාව අවසානයේ මුහුදු පත්ලේ නවතින ස්ථානය හා “මායාකාරියන්ගේ කුහරය” තුළ එය පිහිටන ස්ථානය යන කරුණු ද මුහුදු යාත‍්‍රා ගිලී යාමේ යාන්ත‍්‍රණය පැහැදිලි කිරීමට උපකාරී වෙනවා.මීට ස්වල්ප කලකට පෙර මුහුදු පත්ලේ සැඟව තිබූ අදිසි බලවේගයක අභිරහස අතැඹුලක් සේ දැනගැනීමට නූතන විද්‍යාව අද සමත් වෙලා.එබැවින් උතුරු මුහුදේ දී යාත‍්‍රාවන් අතුරුදන් කරවන මුහුදු පත්ලේ අභිරහස, තවදුරටත් මිනිසාට රහසක් නොවන බවයි මේ හා මොනගන් පවසන්නේ. 

සුභාෂිණී සේනාධීර


Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: