හිමාලයේ වෙසෙනා යෙටී යෝධ මිනිසා මිත්‍යාවක්ද

හිමාල අඩවියේ වෙසෙන යෝධ “යෙටී”
හිමාල අඩවියේ හිම මිනිසා ‘යෙටී’ ගැන කතාන්දර බොහොමය. ‘යෙටී’ ආසියාවේ උස් කඳුකරයේ ගැවසෙන දැවැන්ත, දෙපයින් ඇවිදින, වානරයකු වැනි සත්වයකු යැයි පැවැසෙයි. ‘යෙටී’ ගැන අසන්න ලැබෙන්නේ නේපාලයෙන් සහ ටිබෙටයෙනි. ශතවර්ෂ ගණනාවක පටන්, මේ අද්භූත සත්වයා ‘යෙටී’ දුටු බවටත්, හිමේ තිබී යෙටීගේ යෝධ අඩි සලකුණු දුටු බවටත් නිරන්තරයෙන් වාර්තා වෙයි.
‘යෙටී’ සමඟ බැඳුණු කතා නේපාල මෙන්ම ටිබෙට් ජන ජීවිතය හා බැඳී පවතී. ‘යෙටී’ සැබෑවක්ද? මිත්‍යා සත්වයෙක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට විද්‍යාවට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. කෙසේ නමුත් යෙටීගේ යැයි පැවැසෙන, මෙතෙක් හමුවී ඇති සාක්ෂි, පසුගිය දා ඉතා පුළුල් පරීක්ෂණ රැසකට භාජන කෙරුණි.
ඒ, වර්තමානයේ පවතින තාක්ෂණයේ උපරිමය භාවිත කරමිනි. සිදු කෙරුණේ ඩී.එන්.ඒ. පරීක්ෂාවකි. එහිදී පැහැදිලිවුණු දෙයක් නම්, යෙටීගේ යැයි පැවැසෙන ලෝම, අස්ථි සහ සමේ කොටස් වලස් පවුලේ සාමාජිකයකුට අයත් බවය.
ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකළේ ඇමෙරිකාවේ බෆලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන චාලට් ලින්ඞ්ක්විස්ට්ගේ ප්‍රධානත්වයෙනි. පසුගිය 2016 වසරේ දී, ඩිස්කවරි නාළිකාවට අනුබද්ධ ‘ඇනිමල් ප්ලැනට්’ නාළිකාවේ ‘යෙටී ඕර් නොට්’ වාර්තා වැඩසටහන මෙහෙයවූ තැනැත්තිය ද මැයයි. එම වැඩසටහනේ ද තේමාව වූයේ යෙටී සැබෑවක් ද නැද්ද යන්න විමසා බැලීමය.
එම අවස්ථාවේදී, ‘යෙටී ඕර් නොට්’ වැඩසටහන නිෂ්පාදනය කළ බ්‍රිතාන්‍ය ‘අයිකන්’ සමාගම, ඔවුන් විසින් එක් රැස් කරගන්නා ‘යෙටී සාක්ෂි’ සියල්ල මහාචාර්යවරියට ලබා දුන්නේය. සම් කොටස්, ලෝම, අස්ථි කැබැලි, කලවා අස්ථි කොටස්, දත් ආදිය ඒ අතර තිබේ. මේවා යෙටීගේ යැයි පවසා වරින්වර හිමාල අඩවියේ සහ ටිබෙට් සානුවේ වැසියන් විසින් එක් රැස් ගත් දේවල්ය.
මේවායින් බොහොමයක් කෞතුකාගාරවල ද ප්‍රදර්ශනයට තබා තිබේ. මහාචාර්යවරිය මේ සියල්ල පුළුල් ඩී.එන්.ඒ. පරීක්ෂණයට යොමු කළාය. එහිදී අපූරු සොයා ගැනීමක් සිදුකිරීමට ඇය සමත් වූවාය. ඇය විසින් අනාවරණය කරගත් දේවල් පසුගිය දා විද්‍යා සඟරාවලත්, මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවියේත් ප්‍රසිද්ධියට පත් කෙරුණි.
යෙටීගේ යැයි පවසමින් එක් රැස් කරගෙන තිබුණු ‘සාක්ෂි’ අටෙන් එකක් බල්ලකුගේ විය. සෙසු හත ආසියානු කළු වලසුන්ගේ සහ ටිබෙට් දුඹුරු වලසුන්ගේය. ඒ අතරින් ද දුඹුරු වලසුන්ගේ යැයි පැවැසෙන කොටස්වල ලොකු විශේෂත්වයක් මහාචාර්යවරියට දකින්න ලබුණි.
ඒ අනුව, යෙටී නමින් හැඳින්වෙන අද්භූත සත්වයා, දැවැන්ත ලෝම පිරි මානව වානරයකු නොව, වලසකු විය හැකි යැයි අනුමාන කෙරුණි. වලසාට ද පසුපස ගාත්‍රාවලින් නැගී සිටීමට පමණක් නොව කෙටි දුරක් ඇවිද යෑමට පවා හැකිය. යෙටී යනුවෙන් දකින්න ලැබී ඇත්තේ වලසකු විය හැකි යැයි සැක කෙරේ.
යෙටී සම්බන්ධයෙන් හමුවුණු ‘සාක්ෂි’ මීට පෙර ද අවස්ථා ගණනාවකදී, පරීක්ෂණවලට භාවිතා කෙරුණු බවත් ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කළ බවත් ලින්ඞ්ක්විස්ට් කියයි. කෙසේ නමුත් මෙවර ඩී.එන්.ඒ. පරීක්ෂණය මීට පෙර කළ පරීක්ෂණ මෙන් නොව, ඉතා පුළුල් යැයි ඇය වැඩි දුරටත් කියා සිටී. යෙටී ගැන කෙසේ වෙතත් ආසියානු වලසුන් සහ උන්ගේ පරිණාමය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න රැසකට පිළිතුරු මතු කර ගැනීමට මෙම නව පරීක්ෂණය සමත් වුණැයි මහාචාර්යවරිය පෙන්වා දෙයි.

Yeti 

Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: